Sunday, July 23, 2017

ඩෙංගු රෝගයෙන් බේරෙන හැටි මෙන්න

ඩෙංගු රෝගයෙන් බේරෙන හැටි මෙන්න
ඩෙංගු යනු අප්‍රිකානු මහාද්වීපයේ කොංගෝ ප්‍රදේශයේ භාවිත වන වචනයකි. එහි තේරුම ‘‘ඇට කැඩෙන’’ යන්නයි. ඩෙංගු වෛරසය මගින් ඇතිකරන උණ සහිත රෝගී තත්ත්වයේදී ශරීරයේ අධික වේදනාවක් ඇතිවීම එම නම යෙදීමට හේතුවයි. මෙම වදන ඉංග්‍රීසි භාෂාවෙන් ‘‘Break Bone Fever” ලෙස යෙදේ.
මුලින්ම මෙම ඩෙංගු වෛරසය කුමක්ද හා එම රෝගය හටගත් ආකාරය සොයා බැලීම වටී. ඩෙංගු වෛරසය ආර්බෝ වෛරස් (Arbo Virus) කුලයට අයත් වේ. මෙම ආර්බෝ වෛරස් යනු ආත්‍රපෝඩා (සන්ධිපාධික) සතුන් බෝකරන වෛරස් වර්ගයි. අප හොඳින් දන්නා මදුරුවාද ආත්‍රපෝඩා වංශයේ ඉන්සෙක්ටා (Insecta) කාණ්ඩයේ, Diptera (ඩිප්ටෙරා) නම් කුලයට අයත් වේ. මෙම මදුරුවන් මගින් අප දන්නා වෛරස් රෝග කිහිපයක්ම ව්‍යාප්ත වේ. එනම් ඩෙංගු රෝගය, චිකුන්ගුන්යා රෝගය, ජැපනීස් – B මෂ්තිෂ්ක ප්‍රදාහය ආදියය.
මෙම ඉහත කී ඩෙංගු වෛරසය අතීතයේදී අප්‍රිකාවේ කොංගෝ වනාන්තරයේ වනගතව පැවතුණු (Wild Virus) වෛරසයකි. මෙහිදී වනයේ වෙසෙන ක්ෂිරපායී සත්ත්ව වර්ගයක්, මදුරුවා හා වෛරසය නොනැසි චක්‍රීයව සංක්‍රමණය වෙමින් වනගත චක්‍රයක් (Wild Cycle) ලෙස පැවතුණි. මෙහිදී මෙම වෛරසය දරාසිටින ක්ෂීරපායි සත්ත්වයාට කිසිම රෝගයක් වෛරසය නිසා හටනොගත් අතර ඌ හුදෙක් වෛරස් චක්‍රය පවත්වාගෙන යාමට දායක වීම පමණක් සිදුකළේය.
නමුත් කාලයාගේ ඇවෑමෙන් වනාන්තර එළිපෙහෙළි වී වන අද්දර මිනිස්සු ජනාවාස ඉදිකරන්නට වූහ. මෙම ජනාවාස (Colony) වල ජීවත්වන මිනිසුන්ට මෙම ඩෙංගු වෛරසය ආගන්තුක ලෙස මදුරුවන් මගින් ආසාදනය වූ අතර, මිනිසාට මෙම වෛරසය සංකූලතා හා රෝගී තත්ත්වයක් නිර්මාණය කෙරිණි. මෙහිදී මිනිසා අහම්බෙන් හමුවූ දාරකයෙක් බවට පත්විය. එතැන්පටන් අද දක්වා මෙම රෝගකාරක වෛරසය ලෝකය පුරාම මදුරුවන් සහිත කලාපවල පැතිරී ඇති අතර මිනිසා මුහුණපා ඇති බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත් වී හමාරය.
ඩෙංගු වෛරසය ව්‍යාප්ත වන ආකාරය
ඩෙංගු වෛරසය දරාගෙන සිටින්නේ ඊඩීස් ගණයට අයත් මදුරුවෝය. මෙම මදුරුවන් ලේ උරා බිමේදී ඩෙංගු වෛරසය මදුරුවා තුළට ඇතුළු වේ. මෙහිදී මදුරුවා තුළ වෛරසය ගුණනය වී මදුරුවා බිත්තර දැමීමේදී (බිත්තර 200-300 ත්) මෙම බිත්තර තුළටද වෛරසය ඇතුළු වේ. ඇතුළු වී බිත්තර පුපුරා කීටයන්, පිළවුන් හා සුහුඹුල් මදුරුවන් තුළද වෛරසය තිබේ. මෙහිදී බරපතළම කරුණ වන්නේ එක් මදුරුවෙකුගෙන් ඇතිවන බිත්තර මගින් වෛරස් සහිත මදුරුවන් 200-300 ක් බිහිවීමයි. සාමාන්‍යයෙන් මිනිසුන් අතර විමසීමේදී මිනිසුන් සිතාසිටින්නේ ඩෙංගු රෝගය බෝවන්නේ රෝගය සහිත පුද්ගලයකුගෙන් ඩෙංගු මදුරුවකු රුධිරය උරා බී, ඌ නැවත නිරෝගී පුද්ගලයකුට දෂ්ට කළවිට ඒ හරහා රෝගය ව්‍යාප්ත වන බවයි. නමුත් මෙම ආකාරයට රෝගය ව්‍යාප්ත වන්නේ ඉතා සෙමෙනි. බොහෝ විට මදුරුවකු එක පුද්ගලයකුගෙන් ලේ උරා බී විට ඌට සෑහෙන රුධිර ප්‍රමාණයක් ලැබුණහොත් නැවත රුධිර උරා නොබොන අතර ඊළඟට බිත්තර දැමීම සිදුකර ජීවිතය අවසන් කරයි.
නමුත් ඉහත සඳහන් කළ බිත්තර මගින් වෛරසය ව්‍යාප්ත වීම ඉතාම කාර්යක්ෂමව ව්‍යාප්ත වීමේ ක්‍රමයකි. (Trans Ovarian Transmission) මේ නිසා අප ප්‍රායෝගිකව අත් දකින ස්ථානීය ව්‍යාප්තිය දැකිය හැකිය. මෙහිදී ඩෙංගු රෝගීහු සිමිත ප්‍රදේශයකින් විශාල සංඛ්‍යාවක් එකවර හමුවෙති. මීට හේතුව බිත්තර මගින් වෛරස් සහිත මදුරුවන් විශාල සංඛ්‍යාවක් පිටවී මදුරුවා සැරිසරන සීමාවේ මිනිසුන්ට රෝගය ඇතිකිරීමයි.
ඩෙංගු රෝගයේ ස්වභාවය
ඩෙංගු වෛරසය උපකාණ්ඩ 4 කින් සමන්විතය ඒවා ​Serotype ලෙස නම් කෙරේ. Den 1, Den 2, Den 3, Den 4 මෙම සීරෝටයිප් 4 වේ. මෙම එක් කාණ්ඩයක් මගින් රෝගය වැලඳී පසුව හෝ එම අවස්ථාවේදීම තවත් කාණ්ඩයක් මගින් රෝගයක් ඇතිවීමට ඉඩකඩ ඇත. මෙම කාණ්ඩ 4 අතුරෙන් 2 වැනි කාණ්ඩය (Den 2) ඉතාම දරුණු කාණ්ඩයයි. මෙම කාණ්ඩය මගින් ඩෙංගු රක්තපාත තත්ත්වය හා කම්පනය ඇති කරයි.
එක් කාණ්ඩයකින් රෝගය වැලඳී සුවපත් වූ පසු අද‌ාළ කාණ්ඩයට රෝගියා ප්‍රතිශක්තීකරණය වේ. නමුත් අනික් කාණ්ඩවලට ආරක්ෂාවක් ඉන් නොලැබේ.
අනෙක් කරුණ නම් ​ෙඩංගු වෛරසය ශරීරගත වූ සැමදෙනාටම රෝගී ලක්ෂණ පහළ නොවීමයි. සමහර පුද්ගලයන්ට වෛරසය ඇතුළු වී ඔවුන්ට නොදැනුවත්වම ප්‍රතිශක්තිකරණය වී යයි. එය Sero Conversion ලෙස හඳුන්වයි. රෝග ලක්ෂණ පහළ වන්නේ බොහෝ දුරට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඌනතා ඇති අයටය. මෙම ඌනතා තාවකාලික හා ස්ථිර උෟණතා විය හැකිය.
තාවකාලික ඌනතා ලෙස අධික ආතතිය, අවිවේකී බව, දුර්වල පෝෂණය, රෝගී තත්ත්ව (දියවැඩියාව) සමහර ඖෂධවල බලපෑම්, පරිසර තත්ත්ව විය හැකිය.
මෙම ඩෙංගු වෛරසය ශරීරයට ඇතුළු වී ගුණ්‍යය (බෙදීමට) පටන්ගනී. එවිට අධික උණ, හිසරදය, ඇඟපත වේදනාව, කෑම අරුචිය, වමනය, උදර වේදනාව වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකිය. මෙම වෛරසය විශේයෙන්ම ශරීරයේ ඇටමිඳුලුවලට පහරදීම සිදුකරයි. මෙම ඇට මිදුලු තුළම රුධිර පට්ටිකා සාදන මෙගා කැරියො සයිට්ස් (Megacryocytes) නම් සෛල වර්ගයක් ඇත. එම සෛලවලට පහරදුන් විට රුධිර පට්ටිකා නිෂ්පාදනය පහළ වැටේ. එම සෛල මගින් නිපදවන රුධිර පට්ටිකා දෝෂ සහිත ඒවා බවට පත්වන්නටද ඉඩ ඇත. එම රුධිර පට්ටිකා ප්‍රමාණය පහළයාම විද්‍යානුකූලව Thrombo cytopenia ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් වැඩිහිටි නිරෝගී පුද්ගලයකුගේ රුධිරයේ මිලි ලීටරයක රුධිරපට්ටිකා 450,000 – 150,000 (mm3) දක්වා පරාසයක ඇත. ඩෙංගු වෛරසය ආසාදනය වූ විට මෙම සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් පහත වැටී 20,000, 15,000, 5000 දක්වා පහළ වැටීමට ඉඩ ඇත. මෙම රුධිර පට්ටිකාවල කාර්යභාරය වන්නේ රුධිරය කැටි ගැසීමට දායකවීමයි. මෙම රුධිර පට්ටිකාවල ඇති Thromboxane A 2නම් එන්සයිමය මගින් Prothrombine Thrombine බවට පත්කර රුධිරය කැටිගැසීම ආරම්භ කරයි. රුධිර පට්ටිකා සැලකිය යුතු ලෙස අඩු වූ මෙම ක්‍රියාවලිය අඩපණ වී ඉබේම රුධිර සියුම් නහර මගින් වැස්සීමට ඉඩ ඇත. එය ඩෙංගු රක්තපාත තත්ත්වය ලෙස හඳුන්වයි. එමෙන්ම ​ෙඩංගු වෛරසය මගින් රුධිර කේශනාලිකාවල ඇතුළත සිවිය තුළ සිදුරු ඇතිකිරීම මගින් රුධිර ප්ලාස්මාව කාන්දුවීමට පටන්ගනී. මෙය ආරම්භ වූ විට රෝගියා ඉතාම දුර්වල වන අතර රුධිර පීඩනය පහත වැටේ. එවිට රෝගියා කම්පන තත්ත්වයකට යා හැක. රුධිර ප්ලාස්මාව පිටතට කාන්දුවන විට රුධිරයේ අඩංගු සෛල සාන්ද්‍රවීමට පටන්ගනී. විශේෂයෙන්ම රතු රුධිරාණු සාන්ද්‍රවීම නිසා එහි ප්‍රතිශතය PCV ප්‍රතිශතය ඉහළට යයි.
ඩෙංගු රෝගය පාලනය කිරීම
මදුරුවන් විනාශකර ඩෙංගු රෝගය පාලනය කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි කටයුත්තකි. මක්නිසාද ඩෙංගු මදුරුවාට බෝවීම ඉතා සුළු ජල ප්‍රමාණයක් ප්‍රමාණවත් වීම හා බිත්තර ජලය නොමැති තත්ත්ව යටතේ නොනැසී තිබී නැවත ජලය ලැබුණු විට සක්‍රීයවීමයි.
ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරීම අසීරු ඇයි?
• අධික නාගරීකරණය හා ජන ඝනත්වය වැඩිවීම.
• අක්‍රමවත් කසළ බැහැරකිරීම.
• අධික ලෙස පොලිතින් හා ප්ලාස්ටික් භාජන භාවිතය.
• පොල්කටු, තැඹිලි කෝම්බ, විවිධ විසිතුරු ශාඛවර්ග.
• වැහි පිහිලි හා කොන්ක්‍රීට් තට්ටු.
• පොදු ස්ථානවලට අවධානය යොමු නොවීම.
• ආකර්යක්ෂම දුමායනය, මර්දන වැඩසටහන්.
• මහජනතාවගේ නොදැනුම්වත්භාවය හා අලසබව.
ඩෙංගු රෝගය පාලනය කිරීමට කළයුතු දේ
• තරමක් දුරට හෝ මදුරුවන් බෝවීම පාලන.ය
• රෝගීන් ආරක්ෂා කිරීම.
ඩෙංගු රෝගය ව්‍යාප්ත වන්නේ මදුරුවා මිනිසා යන චක්‍රය හරහාය. ඩෙංගු ආසාදිත පුද්ගලයන් මදුරුවන් හා ගැටීම වැළැක්වූ විට මදුරුවාට ඩෙංගු වෛරසය ඇතුළුවීම වැළකී චක්‍රය බිදී යයි.
ඩෙංගු රෝගීන් ආරක්ෂා කර යුතු ආකාරය
ඩෙංගු ලෙස හඳුනාගත් සියලුම රෝගීන් මදුරුවන් රහිත පරිසරයක තැබිය යුතුය. මීට ඉතාම හොඳ ක්‍රමය වන්නේ ඩෙංගු රෝගීන් වායුසමනය කරන ලද වාට්ටු තුළ රැඳවීමයි. නි​ෙවසක වුව ඩෙංගු රෝගියෙකු සිටීනම් ඔහුව මදුරු දැල් දමා සංචරණය සිමාකර තැබීම මගින් වෛරසය තවදුරටත් බෝවීම පාලනය කළහැකිය. ශ්‍රී ලංකාව තුළ සිටින සියලුම ඩෙංගු රෝගීන් සති 3 ක කාලයක් මදුරුවන් නොගැටී ආරක්ෂා කරගත හැකිනම් ඩෙංගු රෝගය ඉතා හොඳින් මුලිනුපුටා දැමිය හැකිය. නමුත් එය අපහසු කටයුත්තකි.
රෝගයේ සංකුලතා අඩුකර ගැනීමට
ඩෙංගු රෝගයේ සංකුලතා බොහෝ දරුණු අතට හැරෙන අවස්ථාවක් වන්නේ සමහර අහිතකර ඖෂධ ලබා ගෙන තිබීමයි. මේ සඳහා ​බොහෝවිට හේතුවන්නේ Nsaids (Non Steroidal Anti Inflammatory Drugs) රෝගී අවස්ථාවට ආසන්නව පෙර හෝ රෝගය ඇතිවිට ලබාගැනීමයි. මෙම Nsaids වලට උදාහරණ ලෙස Asprin, Diclofenac Sodium, Dielof0enae Pottasium, Ibufroten, Meloxicum, Mefanamic acid ගත හැකිය. මෙම ඖෂධ විවිධ වෙළෙඳ නාම සිය ගණනක් යටතේ අදද ලංකාවේ ලබාගත හැකිය. මේවා බොහෝ දුරට භාවිත වන්නේ වේදනා නාශක ලෙස හා උණ අඩුකරන ඖෂධ ලෙසය.
මෙම ඖෂධ හා ඩෙංගු අතර සම්බන්ධය කුමක්ද?
මෙම ඖෂධ ලබාගැනීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස රුධිර පට්ටිකා වල ඇති Thromboxane A 2 එන්සයිමය (ප්‍රොස්ටගැන්ඩිලින් අක්‍රීයකිරීම හරහා) අක්‍රීය වී රුධිර පට්ටිකාවල ක්‍රියාකාරිත්වය ඇනහිටී. රුධිර කැටිගැසීම නවතා දමයි. ඩෙංගු වෛරසය සිදුකරන්නේත් ඊට සමාන ක්‍රියාවලියකි. මෙම දෙක එකට එකතු වූ විට මහා විනාශයක් සිදුවීම වැළක්විය නොහැකිය. මීට කදිම නිදසුනක් ලෙස මෙම ඖෂධ අතර මඳ ක්‍රියාකාරීත්වයක් ඇති Asprin ඖෂධය රුධිර නහරගත කැටි ඇතිවීම වැළැක්වීමට භාවිතා කරයි.
මෙම ඖෂධ වර්ග ලංකාවේ රෝගීන්ට කුමක් හෝ කාරණයකට නිර්දේශ කළවිට ඔවුන් ඒවා භාවිත කරන අතර අහඹු ලෙස ඩෙංගු රෝගය වැළඳුනහොත් බරපතළ තත්ත්වයක් ඇතිවේ. තවද සුදුසුකම් නොලත් වෛද්‍යවරු තවමත් උණ රෝගීන්ට, උණ අඩුවීමට ඖෂධයක් ලෙස මෙම Nsaids භාවිතා කෙරෙති. ඩෙංගු මරණ අඩුකිරීමට නම් මෙම Nsaids ඖෂධ කාණ්ඩය ලංකාවේ අවුරුදු 5 ක් වත් තහනම් කළ යුතුය.
රෝග විනිශ්චය ලබාගැනීම
ඩෙංගු රෝගය වැලදී ඇති බවට නිසැකව හඳුනාගැනීමට රුධිර පරීක්ෂණ කිහිපයක් ඇත.
1. ඩෙංගු ඇන්ටිජන් ටෙස්ට්
Dengue antigen Test N 51 24 h
2. පී.සී.ආර්. පරීක්ෂණය
P.C.R for Difinitive Diagnosis
ඉහත පළමුවැනි ටෙස්ට් වර්ගයට වැඩියෙන් දෙවැනි පරීක්ෂණයෙන් රෝගය නිශ්චිතව හඳුනාගැනීම හා කාණ්ඩය හඳුනාගැනීමට හැකිය.
3. Platetet Count රුධිර පට්ටිකා ගණනය කිරීම මගින්ද වක්‍රාකාරව ඩෙංගු රෝගය හඳුනාගත හැකිය.
අවම සාමාන්‍ය සීමාව වන 150,000mm 3 සිට ක්‍රමයෙන් පරීක්ෂණ ගණනාවක් මගින් රුධිර පට්ටිකා ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහළ වැටේ නම් ඩෙංගු රෝගී තත්ත්වය කියා බොහෝ දුරට විනිශ්චය කළ හැකිය.
රෝගයට ප්‍රතිකාර
ඩෙංගු වැළ​ෙඳන සියලු දෙනා සුවපත් වෙනවා නම් ඩෙංගු රෝගයද සාමාන්‍ය ප්‍රතිශ්‍යාවක් තරම් සුළු රෝගයක් වනු ඇත.
කියුබාව වැනි රටක ඩෙංගු මරණ අනුපාතිකය ලංකාවට සාපේක්ෂාව ඉතා පහළ අගයක් ගන්නා අතර, එහි ප්‍රතිකාර ක්‍රම ලංකාවට වඩා ප්‍රශස්ත මට්ටමක ඇතැයි සිතිය හැකිය.
Pavithra Iroshini Amarathunga ගේ පිටුවෙන් ගත ලිපියකි
වෛද්‍ය, අනුර සම්පත් රතුගම
Source:lankadeepa.lk

Monday, September 19, 2016

ලෝකයේ මුල්වරට හෘද කැතීටර සොයාගත් ලාංකිකයා



ලෝකයේ මුල්වරට හෘද කැතීටර සොයාගත් ලාංකිකයා
මෙය කියවන ඔබ ඇතැම්විට හෘදයේ රුධිර නාල අවහිරවීමකට ලක්ව ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරයක් මගින් දිවි රැකගත් අයෙකු විය හැක. නොඑසේ නම් ඔබගේ සමීපතමයෙක් එවැනි උපකරණයක් මගින් දිවි රැකගෙන සිටිනවා විය හැකිය. එහෙත් ලෝ පුරා නතරවන්නට ගිය මිලියන ගණනක් හදවත්වලට ජීවය ලබා දුන් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරයේ නිර්මාතෘ ශ්‍රී ලාංකිකයෙකු බව ඔබ නොදැන සිටියා වියහැක. ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරය නිර්මාණය කළේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය බන්දුල විජේරත්නය. ඇමෙරිකාවේ පදිංචිව සිට විද්‍යා පරීක්ෂණවල නියැලෙන ගෝලීය පුරවැසියෙකු වන ඔහු මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී. මේ ඔහු ලක්බිම සමග කළ පිළිසඳරකි.
ඔබේ ගම් පළාත කොහේද?
මම දකුණු පළාතේ. ගාල්ල බටදූව තමයි මගේ ගම.
පවු‍ලේ විස්තර කොහොමද?
අපේ පවු‍ලේ මම බාලයා. මට වැඩිමහල් අක්කලා දෙන්නෙක් ඉන්නවා. එක අක්කා කෙනෙක් ගුරු වෘත්තියේ යෙදුණා. අනෙක් අක්කා බැංකු කළමනාකාරිනියක් ලෙස රැකියාව කළා.
එතකොට ඔබේ දෙමාපියන්?
මගේ තාත්තා ඒ.ජී.පී. විජේරත්න. අම්මා කත්‍රිනා හේමලතා. දෙන්නාම විදුහල්පතිවරු ලෙස කටයුතු කරා. ගෙදරම විදුහල්පතිවරු දෙදෙනෙක් හිටපු එක අපේ අධ්‍යාපනයටත් බලපාන්න ඇති.
ඔබේ පාසල් ජීවිතය මතක් කළොත්?
මම මුලින්ම ගියේ ඇතිලියගොඩ මහා විද්‍යාලයට. ඒක ටිකක් ගම්බදට වෙන්න තිබුණ පාසලක්. මම තුන්වෙනි ශ්‍රේණියට සමත් වෙනකං ඒ පාසලට ගියා.
තුන්වැනි ශ්‍රේණියෙන් පසු ඔබ ගියේ මොන පාසලටද?
තුන් වැනි ශ්‍රේණියට මා ඇතුළත් වූයේ ගාල්ල මහින්ද විදුහලටයි. මා උසස් පෙළ සමත් වුණේ එහිදී.
ඔබ කොහොමද පාසල් ගියේ?
බයිසිකලෙන්. මුලින්ම තාත්තා මාව ලැගේජ් එකේ තියාගෙන පාසලට එක්කරං ගියා. පස්සේ මම තනියම බයිසික‍ලේ පැදං මහින්දෙට ගියා.
ඒ කා‍ලේ බයිසික‍ලේ පාසල් යෑම විශේෂ වරප්‍රසාදයක්ද?
ඔව්. ඒ කා‍ලේ ෆුට් සයික‍ලේට අද මෝටර් සයික‍ලේක වටිනාකම තිබුණා. ඉතිං මම ෆුට් සයිකලෙන් මහින්දෙට යන එක ටිකක් විශේෂ දෙයක් තමයි.
ඔබ මොන විශ්වවිද්‍යාලයටද ඇතුළු වුණේ?
මම ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගියේ නෑ. උසස් පෙළ සමත් වෙනකොට මට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණා ඉන්දියාවේ ජදව්පුර් විශ්වවිද්‍යාලයේ. ඒක තියෙන්නේ කල්කටාවේ.
එහි ඉගෙනුම ලැබුවේ කුමන භාෂාවෙන්ද?
ඉංග්‍රීසියෙන්. මම පාසල් අධ්‍යාපනය ලැබුවෙත් ඉංග්‍රීසියෙන්. ඒක නිසා මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැටලුවක් වුණේ නෑ.
ඉන්දියාවේ ජීවිතය කොහොමද?
මම ශිෂ්‍යත්වලාභියෙක් නිසා විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේමයි හිටියේ. කෑමත් එහෙන්ම ලැබුණා. නිවාඩු ලැබුණ ගමං මම ලංකාවට ආවා. ඒක නිසා ඉන්දියාවේ ඇවිදලා තොරතුරු බලන්න ලැබුණේ නෑ.
විශ්වවිද්‍යාලයේදී ඔබ හැදෑරුව විෂයන් කුමක්ද?
මා ඉගෙනුම ලැබුවේ රසායන ඉංජිනේරු තාක්ෂණය.
උපාධිය ලැබිමෙන් පසු කුමක්ද කළේ?
මම කෙටි කලක් ඉන්දීය තාක්ෂණ ආයතනයේ රැකියාව කළා. ඒ සමගම මගේ උසස් අධ්‍යාපනයත් කරගෙන ගියා.
ඔබ එහිදී හැදෑරුවේ කුමන කරුණුද?
විශේෂයෙන්ම මා සක්‍රිය කාබන් පිළිබඳ හැදෑරුවා. ‍පොල්කටුවලින් ගන්නා කාබන් සහ ඒවායේ ගුණාත්මක බව පිළිබඳ මා හැදෑරුවා.
ඔබ ආචාර්ය උපාධිය ලැබුවේ ඉන්දියාවෙන්ද?
නෑ. මම කෙටි කලකට පසු උසස් අධ්‍යාපනය අතහැර ලංකාවට ආවා. එලෙස ඇවිත් ITI ආයතනයේ රැකියාවක් කළා පර්යේෂණ නිලධාරියෙකු ලෙස.
එහිදී ඔබ වඩාත් පර්යේෂණවල නියැලුණේ කුමන විෂය කරුණු ගැනද?
‍පොල් පිළිබඳ බොහෝ දේ කළා. විශේෂයෙන්ම ‍පොල්වලින් ‍ප්‍රෝටීන් හදන ක්‍රමයක් ගැන මම උනන්දු වුණා. ඊට අමතරව පැඟිරි තෙල්, කුරුඳු තෙල් වැනි දේ පිළිබඳවත් මා පර්යේෂණ රැසක් කරා.
ඔබ යළිත් විදෙස් ගතවූයේ කුමන වසරේද?
1974 දී මම ඇමෙරිකාවට ගියා. ඒ මගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නට. මා එහිදී දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට බැඳී රසායන ඉංජිනේරු විෂය හදාරා ආචාර්ය උපාධිය දිනා ගත්තා.
වෛද්‍ය උපකරණ පිළිබඳ ඔබ පර්යේෂණ කරන්න පටන් ගත්තේ කොයි කාලයේද?
1979 වනවිට මා එවැනි උපකරණ පිළිබඳ පර්යේෂණ ආරම්භ කළා.
මේ පර්යේෂණ ආරම්භ කළේ ස්වාධීනවද?
නෑ... මම ඒ වනවිට එඩ්වර්ඩ්ස් නම් ආයතනයට බැඳී සේවය කළා. මගේ පර්යේෂණ එහි සිට ආරම්භ කළා.
ඔබ පර්යේෂණ ආරම්භ කළේ කුමන ඉන්ද්‍රියකට සම්බන්ධවද?
හෘදය වස්තුව ඉලක්ක කර මා පර්යේෂණ ආරම්භ කළා.
ඇයි ඔබ හෘදය වස්තුව ඉලක්ක කර පර්යේෂණ ආරම්භ කළේ?
ඒක අහම්බයක්. මට හෘදය වස්තුව පිළිබඳ කියා විශේෂ උනන්දුවක් තිබුණේ නෑ. මා ඉබේම එතනට යොමු වුණා. පර්යේෂණ ආරම්භ කරනවිට අපි කාලීන තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනය කරනවා. ඒ කා‍ලේ හෘදය වස්තුවේ ධමනි අවරෝධවීම සෑහෙන ගැටලුවක් බවට පත්ව තිබුණා.
ඒ කියන්නේ හෘදය වස්තුව පිළිබඳ ඔබ පර්යේෂණ ආරම්භ කළේ වාණිජ අරමුණින් කියන එකද?
නෑ. ඒ අවස්ථාවේ ඒ වගේ පර්යේෂණ අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ලෝකය පුරාම බොහෝදෙනකු ඒ ගැන පර්යේෂණ ආරම්භ කර තිබුණා.
ඔබේ පර්යේෂණය සාර්ථක වුණාද?
ඔව්. මට පුළුවන් වුණා නහරවල තිබුණ අවහිරතා ඉවත් කරන්නට පුළුවන් විශේෂ උපකරණයක් හදන්න. ඒ උපකරණය රුධිර නාලයක් ඔස්සේ හෘදයේ අවහිරවීම ඇති තැනට යවන්නට පුළුවන් විදිහේ විශේෂ උපකරණයක්. එය හඳුන්වන්නේ ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් යන නමින්.
මේ උපකරණයේ ක්‍රියාකාරීත්වය කෙබඳුද?
මෙය කලවයේ ඇති රුධිර නාලයක් තුළින් හෘදයේ අවහිරව ඇති ධමනි කරා යවන්න පුළුවන්. අවහිර වූ ස්ථානයට ගොස් බැලුමක් ආකාරයෙන් පුම්බන්නට පුළුවන්. එමගින් අවහිරතාව මගහැරෙනවා. මා මේ කැතීටරය පමණක් නොවෙයි එය හෘදය කරා යවන්න භාවිත කරන රුධිර ‍පොම්පයත් (Blood pump) මගේ සොයාගැනීමක්.
මෙම නිර්මාණවල පේටන්ට් අයිතිය කාටද?
මේ දෙකේම පේටන්ට් අයිතිය ඇත්තේ මටයි.
ඔබ මෙය නිෂ්පාදනය කළේ ඇමෙරිකානු සමාගමක් වෙනුවෙන්ද?
නෑ. මා මේ පර්යේෂණ ඇරඹුවේ ඇමෙරිකානු සමාගමක සිටියදී වුණත් මේ කැතීටරය නිර්මාණය කළේ ලියෝ කොර් නම් මාගේම සමාගමක් වෙනුවෙන්. එය ඇමෙරිකානු ලියාපදිංචිය සහිත එකක්.
මේ නිර්මාණයට භාවිත කළ මූලද්‍රව්‍ය කුමක්ද?
මුලින්ම භාවිත කළේ ‍පොලියතිලින් නම් ද්‍රව්‍ය යොදා පසුව නයිලෝන් භාවිත කළා. 1980 වනවිට මෙහි නිෂ්පාදන කටයුතු නිමකර තිබුණා. මා පශ්චාත් උපාධිය සඳහා ‍පොලියතිලින් ගැන විශේෂ හදෑරීමක් කර තිබුණා.
මෙය භාවිතාවට ගැනුණේ කුමණ කාලයකදීද?
නිපදවා වසර හතරකට පසු. ඒ කියන්නේ 1984 දී අප මෙය සතුන්ට සවිකර පරීක්ෂා කර බැලුවා. පරීක්ෂණ සාර්ථක නිසා 1988 වන විට මානව භාවිතයට හඳුන්වා දුන්නා.
මුලින්ම භාවිත කළේ ඇමෙරිකාවේදීද?
නෑ. මුලින්ම භාවිත කළේ ජපානයේදී. ඇමෙරිකාවේදී නව නිපැයුම් අත්හදාබැලීමට කල් යනවා. ඒ නිසා අපි මුලින්ම ජපානයටත් පසුව යුරෝපයටත් යැව්වා.
රුධිරවාහිනී අවරෝධවීමට යොදා ගන්නා ස්ටන්ට් එකත් ඔබේ නිර්මාණයක්ද?
මා ස්ටන්ට් එක නිපදවූ බව ඇත්ත. ඊට සමකාලීනව තවත් අප මෙවැනි නිර්මාණ කළා. එබැවින් එය මගේම නිර්මාණයක් කියා කියන්න අමාරුයි.
ස්ටන්ට් එක සහ ඔබ හඳුන්වා දුන් කැතීටරය අතර වෙනස කුමක්ද?
ස්ටන්ට් එක යොදා ගැනීමෙන් පසු යළි අවහිරවීම 1 වගේ අඩු අගයක් ගන්නවා. ඒත් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටර බැලුන මගින් එය 30 වගේ ලොකු අගයක් ගන්නවා.
ඔබේ ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරය භාවිත කිරීම කොතරම් දුරට සාර්ථකද?
ඉතා සාර්ථකයි. අද වන විට ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටරයක් හෝ ස්ටන්ට් එකක් දැමීම දතක් ගලවනවාටත් වඩා සරලවී තිබෙනවා. දැන් වෛද්‍යවරුන්ට ඒ පිළිබඳ අවබෝධයක් තිබෙනවා.
මේ වන විට ඔබ සොයාගත් ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් කොපමණ දෙනෙකු භාවිතා කර තිබෙනවාද?
මට හරියටම කියන්න බෑ. මිලියන ගණනක් විය හැකියි.
නතරවීමට ගිය හදවත් මිලියන ගණනකට යළි ජීවය දීමට හැකිවීම ගැන ඔබට දැනෙන හැඟීම කෙබඳුද?
සතුටුයි.
ඔබ සොයා ගත්තේ මේ නිපැයුම් දෙක පමණද?
නෑ. කැතීටරය යවන්නට පෙර රුධිර නාලයේ අවහිරවූ තැන හඳුනාගත යුතුයි. ඊට අදාළ ඇන්ජියෝ ග්‍රැෆික් නම් පරීක්ෂණ සොයාගත්තෙත් එහි පේටන්ට් අයිතියත් ඇත්තේ මටයි.
ඔබ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර නැද්ද?
කෙදිනකවත් මා වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර නැහැ.
එහෙත් ඔබ විසින් සිරුරට අදාළ පර්යේෂණ කරනවා. ශරීරයට ඇතුළු කරන උපකරණ නිපදවනවා. ඊට සදාචාරාත්මක අයිතියක් ඔබට තිබේද?
ඔබ මෙවැනි ප්‍රශ්නයක් අසන්නේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය අනුව විය යුතුයි. එහෙත් ඇමෙරිකාවේ එවැනි ගැටලු නෑ. මනුෂ්‍ය ශරීරය ගැන පරීක්ෂණ කරන්න වෛද්‍යවරයෙකු වන්නට ඕන නෑ. මා කරාටත් වඩා මිනිස් සිරුරට සම්බන්ධ සංකීර්ණ පරීක්ෂණ එරට යාන්ත්‍රික ඉංජිනේරුවරුන් කරනවා. විවිධ වෘත්තිකයන්ගේ දැනුම හා කුසලතා මිනිස් වර්ගයේ දියුණුවට යොදාගන්නට එහි බාධා නෑ.
ඔබ ශ්‍රී ලංකාවට පැමිණ මෙවැනි විෂයන් ගැන දේශන පවත්වනවා. එහිදී විරෝධතා මතුවන්නේ නැද?
මා මෙහි විත් සිටින්නේ ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටරය සොයාගත් ලාංකිකයා ලෙස නොවෙයි. ගෝලීය චරිතයක් ලෙස. ඒ නිසාදෝ මට විරුද්ධතා නෑ.
ඔබ ඇමෙරිකාවට ගොස් එහි පදිංචිවීම ගැන කනගාටු වනවාද?
නෑ... මා මෙහි සිටියා නම් ඔබ පෙර ඇසූ පරිදිම මට හෘදය ගැන පරීක්ෂණ කරන්න බෑ. මා ඇමෙරිකාවට ගිය නිසා මට වඩා මානව වර්ගයාට යහපතක් උදා වුණා කියා මට හිතෙනවා.
ඔබ ලංකාවට පැමිණියේ විශේෂ කරුණක් නිසාද?
සැබැවින්ම අප මෙහි පැමිණ සිටිනුයේ විශේෂකාර්යක් වෙනුවෙන්. ඒ SCIENCE AND TECHNOLOGY FOR SOCIETY FORUM සමුළුවට සහභාගි වීමටයි. ඒ සඳහා මා පමණක් නොවෙයි තවත් ලාංකික විද්‍යාඥයන් 30කට අධික ගණනක් ආවා. ඇමෙරිකාවේ හුස්ටන්වලින් විතරක් 12ක් විතර ආවා.
මෙතුවක් කල් ඔබලා ශ්‍රී ලංකාවට නොපැමිණියේ ඇයි?
අපි අවා ගියා. ඒත් ජාතික කර්තවයකට අපි සම්බන්ධ කරගත්තේ නෑ. දැං ඊට වඩා වෙනත් පිළිවෙළක් තියෙනවා. විද්‍යා තාක්ෂණ ඇමැතිතුමා අපිට ඇමෙරිකාවට ඇවිත් ආරාධනා කරා මෙහි එන්න. අපි සූදානම් අපේ තාක්ෂණය, දැනුම මව්බිමට ලබාදෙන්න. මම දැනට රුහුණු විශ්වවිද්‍යාලයට සම්බන්ධව කටයුතු කරනවා. ඉදිරියේදී තව තවත් වැඩවලට දායකවන්න බලා‍පොරොත්තු වෙනවා. අපේ තත්පරයක් පවා විශාල මුදලකට මිල වෙනවා. ඒ වුණත් අපි මේ සේවය කරන්නේ නොමි‍ලේ.
ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු?
මගේ බිරිඳ කොන්ස්ටන්ට්. ඇය මගේ සමාගමේ කටයුතුවලට දායක වෙනවා. මගේ ලොකු පුතා විවාහකයි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයා තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ විශේෂඥයෙක්. බාල පුතා මෑතදී විවාහ වුණා. එයා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක්.
අනාගතයේ කරන නිර්මාණ මොනවාද?
ඉතා වැදගත් පරීක්ෂණ කිහිපයක් දැනටමත් කරමින් ඉන්නවා.
ඔබ සොයා ගත් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටර් භාවිත කර දිවි බේරාගත් අය ඔබට මුණගැසී තිබෙනවාද?
අනන්තවත් මුණ ගැසී ඇති. මා එවැනි දේ ගැන සැලකිලිමත් වන්නේ නෑ. රෝගියෙකුගේ දිවි රකින්න මාගේ සොයාගැනීම පමණක් නොවෙයි තවත් විශාල පිරිසකගේ දායකත්වය ඕන කරනවා.
ඇමෙරිකාවේදී වෛද්‍ය විෂයට අදාළ පරීක්ෂණ කිරීමට යාමේදී ඔබට යම් ගැටලුවලට මුහුණදීමට වූවාද?
නෑ. ඇමෙරිකාවේදී සලකාබලන්නේ මිනිසුන්ගේ කුසලතා සහ හැකියාවන් පමණයි. ඔවුන්ගේ ජාතිය හෝ ආගම එහි තකන්නේ නෑ. ඔවුන් ගෝලීය මානසිකත්වයකින් කටයුතු කරනවා මිස අප මෙන් දූපත් මානසිකත්වයක කොටුවී නෑ.
ශ්‍රී ලංකාව කඩිනමින් සංවර්ධනය කිරීමට කඩිනමින් විය යුතු වෙනස්කම් මොනවාද?
රටක දියුණුවට හොඳම ක්‍රමය විද්‍යාව සමග එරට ජනතාවට නැගිටීමට හුරු කිරීමයි. අපිත් එයට හුරුවිය යුතුයි. අන්තර්ජාලය විධිමත්ව භාවිත කිරීම රටක් දියුණු කරන්නට හොඳම ක්‍රමයයි. එය හරියට පාවිච්චි කරනවා නම් පාසල් වේලාවෙන් පස්සේ වාහන තදබදය අඩුකරන්න පුළුවන්. ළමයි පාසල් නිමවී ගෙදර ගිහින් අන්තර්ජාලයේ ඉගෙන ගනියි. ටියුෂන් පන්ති අන්තර්ජාලයට මුසු කිරීම පමණයි කළ යුත්තේ. එවිට ළමයි කල්ඇතිව ගෙදර ගිහිං සැහැල්ලුවෙන් ඉගෙන ගනියි. වාහන තදබදය අඩු නිසා පරිසර දූෂණය අඩුවෙනවා. තෙල්වලට වැයවෙන විනිමය ඉතිරි වෙනවා. තවදුරටත් කියනවා නම් අන්තර්ජාලය හරහා අනුරාධපුරේ ඉන්න ගොවියෙකුට හුස්ටන්වල ඉන්න වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත හැකියි. සියලු මායිම් භේද දුරලා ගෝලීය පුරවැසියන් ලෙස කටයුතු කිරීමට අන්තර්ජාලයෙන් පුළුවන්. එය රටේ සංවර්ධනයට හොඳම මගයි. නොමි‍ලේම බැරිනම් ඉතා සහනදායී මිලකට එය ලබාදිය යුතුයි.
ඔබේ ජීවිතය දෙස හැරී බැලුවහොත් තෘප්තිමත් විය හැකිද?
මා ගාල්ලේ ඉපිද ‍පොඩි පාසලකින් ඉගෙනුම අරඹා මහින්ද විදුහලෙන් ඉගෙනීම නිම කළා. පසුව මා ඉන්දියාවත්, ඇමෙරිකාවත් ඇතුළු රටවල් ගණනාවක ජීවත්වෙමින් විවිධ පර්යේෂණ කරා. අදවන විට මා ලෝකයට ප්‍රමාණවත් දෙයක් ඉතුරුකරලා තිබෙන බව මට විශ්වාසයි. මගේ වැඩ තවමත් නිම නෑ, කරගෙන යනවා. එදා ගාල්ලේ මහින්දයට පාපැදිය පැදගෙන ගිය මා අද ඇමෙරිකාවේදී විනෝදයට පදවන්නේ ගුවන් යානා. මා සොයාගත් දේ නිසා නතරවන්නට ගිය හදවත් මිලියන ගණනක් තවමත් ස්පන්දනය වෙනවා. ඉතින් මා තෘප්තිමත්වීම අසාධාරණද?
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
ඡායාරූප: චින්තක උදයකාන්ත