මුළු ලෝකයේ ම අවධානයට ලක්ව තිබෙන සිකා වෛරසය මදුරුවෙකු මගින් පැතිර යන බවට හඳුනා ගත්ත ද මේ වන විට ඒ සම්බන්ධයෙන් අලුත් ම අනාවරණයක් ඉදිරිපත් වී තිබෙ.
ඒ ලිංගික සංසර්ගය මගින් වෛරසය වැළඳුණු රෝගියෙකු පිළිබඳ අමෙරිකාවෙන් වාර්තා වීමත් සමග ය.
අමෙරිකානු රෝග පාලන ආයතනය පවසන්නේ, ටෙක්සාස් ප්‍රාන්තයෙන් රෝගියෙකු පිළිබඳ වාර්තා වී ඇති බව ය.
අදාළ කාන්තාව මේ වනවිට රෝගය පැතිර පවත්නා කිසිදු රටක සංචාරය කර නොමැති අතර ඇයගේ සහකරු වෙනිසුවෙලාවේ සිට පැමිණි අයෙකු බවට හෙළිදරව් වී තිබේ.
ගැබිණි මවකට අසාදනය වුවහොත් ඇයගේ දරුවා උපත ලබන්නේ, නිසි ලෙස වර්ධනය නොවු මොළයක් සහිතව ය.
මූලිකව මදුරුවෙකු මගින් පැතිර යන මෙම වෛරසය ගැබිණි මාතාවකට වැළඳුණ හොත් ලඝු ශීර්ෂතාව (සාපේක්ෂව කුඩා වූ හිස් කබළක් සහ මොළය ඇකිළිණු ස්වාභාවයක්) සහිත දරුවන් උපදිනු ඇති.
මෙම වෛරසය වැළඳුණු ළදරුවන්ගේ ජීවිත කාලය පුරා ම විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර ඉන් දරුවන්ට දැඩි බලපෑම් අති කරනු ඇති බවට ද සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති.
මේ වන විට රෝගය අමෙරිකාව තුළ ද පැතිර යමින් පවතින අතර ඊයේ දිනයේ ලෝක සෞඛ්‍ය සංවිධානය සිකා වෛරසය මහජන සෞඛ්‍ය පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ මෙම සිකා වෛරසය ද ඉබෝලා වෛරසයේ ප්රබලත්වයම සහිත බවට ය.
මේ අතර සිකා වෛරසය අසාදනය වූ දෙදෙනෙකු පිළිබඳ ඕස්ට්‍රේලියාවෙන් ද වාර්තා වී ඇති අතර ඔවුන් කැරිබියන් දූපත්වල සිට පැමිණි දෙදෙනෙකු බව හෙළි වී තිබේ.
වෛරසය පැතිර යාමෙන් බ්‍රසීලය දැඩි පීඩාවට පත්ව ඇති අතර තවත් රටවල් 20කට වැඩි සංඛ්‍යාවක මේ වන විට වෛරදය පැතිර ගොස් අවසන් ය.
පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා බ්‍රසීලයෙන් පමණක් සිකා වෛරසය ආසාදිතයින් 40000ක් වාර්තා වී තිබේ.
මෙහි අවදානම් සහගත තතත්වය වන්නේ, මේ දක්වා වෛරසය මර්දනය කළ හැකි එන්නතක් හෝ ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති වීම ය.
සිකා වෛරසය මුල් වරට සොයා ගනු ලැබ ඇත්තේ, 1947 වසරේ උගන්ඩාවේ සිකා නම් කැළෑවේ සිටි වඳුරන් අශ්රෙයනි.
මුල් වරට වෛරසය වැළඳුණු පුද්ගලයෙකු වාර්තා වී ඇත්තේ, 1954 වසරේ නයිජීරියාවෙනි.
මෙම අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ගැබ් ගැනීමෙන් වැළකී සිටින ලෙස ඇතැම් රටවල් කාන්තාවන්ට අනතුරු අඟවා ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් ය.
වෛරසය වැළඳුණු පුද්ගලයන් සුළු උණ, සිරුරේ මෙන් ම හන්දිවල වේදනාව ඇති වීම සහ හිසේ කැක්කුම යන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
ඩෙංගු මෙන් ම චිකන්ගුන්යා වසංගත රෝග පැතිරීවීමට මුල් වන ඊඩිස් ඓජිප්ටයි මදුරුවා විසින් මෙම සිකා වෛරස ය ද පතුරුවනු ලබයි.
වෛරසය පැතිරී ගොස් ඇති රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස ලොව බොහෝ රටවල් මීට පෙර සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කළේ ය.
එහිදී වැඩි අවධානයක් යොමු කෙරුණේ ගැබිණි කාන්තාවන් සම්බන්ධයෙනි.
මේ අතර මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය ද සිකා වෛරස් රෝගය පැතිරී ඇති රටවල සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙස මෙරට ජනාතවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මේ අතර සිකා වෛරසය ලිංගික සංසර්ගය මගින් පැතිර යන්නේ නම් එය වඩාත් අනතුරුදායක එමෙන් ම මුළු ලෝකයේ ම අවධානය යළි යළි ත් යොමු විය යුතු තත්ත්වයකි.
කෙසේ වෙතත් ලොව මුහුණ දී ඇති මෙම අනතුරුදායක තතත්වය හමුවේ අපට ඒත්තු ගන්වන්නේ, මඳුරුවන් බෝ විය හැකි ස්ථාන පිරිසිදු කර ගනිමින් අවදානමට පෙර සූදානම් විය යුතු බව නොවේ ද?
No comments:
Post a Comment